ඕමානයේ SalamAir ගුවන් සමාගම සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සහ මසීරා (Masirah) දූපත දක්වා ක්‍රියාත්මක වන ගුවන් සේවා 2026 පෙබරවාරි 28 වනදා සිට පැය 24ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් පවතින අනපේක්ෂිත ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පූර්ව ආරක්ෂණ පියවර ගත් බව එම සමාගම නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන SalamAir සමාගම, තත්ත්වය තමන්ගේ පාලනයෙන් ඔබ්බට ගිය එකක් බව අවධාරණය කර සිටියි. ගුවන් සේවා බලධාරීන් කලාපීය වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, පියාසර කිරීම ආරක්ෂිත වූ වහාම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. පවතින තත්ත්වය හමුවේ ඕමානය හරහා සංචාරය කිරීමට සැලසුම් කර සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ද මෙමගින් බලපෑමක් එල්ල විය හැකිය.
ගුවන් ගමන් අවලංගු වීමෙන් පීඩාවට පත් මගීන් සඳහා නවතම තොරතුරු දැන ගැනීමට Salamair.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස හෝ +968 2427 2222 යන දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙස උපදෙස් දී ඇත. පීඩාවට පත් සෑම මගියෙකුම සෘජුවම සම්බන්ධ කර ගනිමින් විකල්ප ගමන් විධිවිධාන පිළිබඳව දැනුම් දෙන බව ද සමාගම වැඩිදුරටත් කියා සිටියි.














