ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් පවතින බවට ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත රජයන් වෙත අනතුරු අඟවා තිබේ. විශේෂයෙන්ම ජම්මු-කාශ්මීරය, දිල්ලිය, කර්නාටක සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවල මේ වන විටත් විරෝධතා ආරම්භ වී ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් දී ඇත.
ඉරානයට පක්ෂපාතී රැඩිකල් දේශකයන් විසින් මහජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවන අයුරින් සිදුකරන දේශනා සහ ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත බලධාරීන්ට දන්වා ඇත. එමෙන්ම අල්-ඛයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය (IS) වැනි ගෝලීය ත්‍රස්ත කණ්ඩායම්වල මෙන්ම ඉරාන හිතවාදී ශිෂ්‍ය සංවිධානවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කරන ලෙස උපදෙස් දී තිබේ.
ඉන්දියාවේ පිහිටි ඇමෙරිකානු සහ ඊශ්‍රායල තානාපති කාර්යාල, කොන්සල් කාර්යාල, එම රටවලින් පැමිණි සංචාරකයන් රැඳී සිටින ස්ථාන සහ යුදෙව් ආගමික මධ්‍යස්ථාන (Chabad houses) ප්‍රහාරයන්ගේ ඉලක්ක විය හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. එම ස්ථාන අසල විශාල වශයෙන් පිරිස් ඒකරාශී වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිසියට දන්වා ඇත.
ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා කඳවුරුවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඇතිවිය හැකි “Ripple effects” හෙවත් දාම ප්‍රතික්‍රියාවන් දේශීය ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජය අවධාරණය කරයි.














