වතින ගෝලීය සහ දේශීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රට තුළ යළිත් වරක් මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.
පෙබරවාරි 28 වැනිදායින් පසු හදිසි නීති තත්ත්වය දීර්ඝ නොවීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ බලතල ද අහෝසි වී ගොස් තිබේ. කෙසේ වෙතත්, මැදපෙරදිග හටගෙන ඇති යුදමය වාතාවරණය නිසා ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව පෝළිම්වල රැඳී සිටීමත්, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමත් පාලනය කිරීම සඳහා මෙවැනි නීතිමය රාමුවක අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට පැනවූ හදිසි නීතිය අවසන් වීමත් සමඟ, නව තත්ත්වය මත පදනම්ව හදිසි නීතිය පැනවීමේ යෝජනාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙමගින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට අපේක්ෂිතය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන පෝළිම් පාලනය කිරීමට සහ කළුකඩ වෙළඳාම නතර කිරීමට අවශ්‍ය වුවහොත් යුද හමුදාවේ සහාය ලබා ගැනීමට ද මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන බවයි.














