මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවේයැයි බියෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (01) සිට නිර්මාණය වූ දිගු පෝලිම් අද (02) දහවල් වන විටත් දක්නට ලැබෙන බව වාර්තා වේ.
නගරයේ පිරවුම්හල් රැසක කිලෝමීටර් 2-3ක් පමණ දුරට වාහන පෝලිම් නිර්මාණය වී ඇති අතර, ජනතාවට ඉන්ධන ලබාගැනීම සඳහා පැය කිහිපයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත. අධික ඉල්ලුම නිසා බොහෝ පිරවුම්හල්වල තොග අවසන් වී ඇති බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නියෝගය පරිදි කෑන්, බෝතල් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. පෝලිම් පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පිරවුම්හල් අසලට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබේ.
සාමාන්‍ය දෛනික ඉල්ලුමට වඩා දෙතුන් ගුණයක ඉල්ලුමක් පැවතීම නිසා බෙදාහැරීමේ ජාලයට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව පිරවුම්හල් සේවකයෝ පවසති. රජය අවධාරණය කරන්නේ අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසයි.














