2013 වසරේ සිදුකළ සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 2.7ක ප්‍රමාණයක් අන්ධභාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිනි, විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය අනාවරණය කළාය. ගම්පොළ ශික්ෂණ රෝහලේ පවත්වන ලද විශේෂ අක්ෂි සායනයකදී ඇය මේ බව සඳහන් කළාය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් රෝගීන් ඇතුළු 500 දෙනෙකු සඳහා අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීම සහ නොමිලේ කාච ලබා දීම මෙහිදී සිදු කෙරිණි. ගම්පොළ ශික්ෂණ රෝහලට වසර 100ක් පිරීම නිමිති කර ගනිමින්, වසර ගණනාවක් පොරොත්තු ලේඛනවල සිටි රෝගීන්ට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම සත්කාරක සේවාවේ මීළඟ අදියර ලෙස එළඹෙන මාර්තු මස අවසාන සතියේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේදී රෝගීන් 1000ක් සඳහා අක්ෂි ශල්‍යකර්ම 1000ක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
වැඩිහිටි ජනගහනය අතර ඇසේ සුද මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත්, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම මගින් අන්ධභාවය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍යවරු අවධාරණය කරති. පවතින තත්ත්වය නිවැරදිව තක්සේරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නව සමීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර ඇත.
ගම්පොළ රෝහලේ විශේෂඥ වෛද්‍ය අමිල ජයරත්න මහතා ඇතුළු දිවයිනේ විවිධ රෝහල් නියෝජනය කරමින් පැමිණි විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් රැසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම සත්කාරයට සිය දායකත්වය ලබා දී තිබුණි.














