ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉලක්ක කර පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරය කොතරම් සාර්ථකද යත්, ඔහුගේ අනුප්‍රාප්තිකයන් ලෙස නම් කර සිටි සියලුම දෙනා එම ප්‍රහාරයෙන් මියගොස් ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ABC පුවත් සේවයේ වොෂින්ටන් වාර්තාකරු ජොනතන් කාල් (Jonathan Karl) සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබේ.
ටෙහෙරාන් නුවර කමේනිගේ නිල නිවස ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් ඉරානයේ මීළඟ නායකත්වය සඳහා සුදුසුකම් ලබා සිටි බොහෝ අපේක්ෂකයන් පිරිසක් විනාශ වී ඇති බව ට්‍රම්ප් අවධාරණය කළේය. “අපි සිතා සිටි කිසිවෙකුත් දැන් ඉතිරිව නැහැ. දෙවන හෝ තෙවන පෙළ නායකයන් පවා දැන් මියගොස් අවසන්,” යනුවෙන් ඔහු පවසා ඇත. මේ හේතුවෙන් ඉරානයේ මීළඟ නායකත්වය කවුරුන් දරනු ඇතිද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි චිත්‍රයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
ඉරාන අධිකරණ අංශ විසින් ද තහවුරු කර ඇති පරිදි, කමේනිගේ ප්‍රධාන උපදේශකයෙකු වූ අලි ශම්ඛානි (Ali Shamkhani) සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් පක්පූර් (Mohammad Pakpour) මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර වෙති. ඉරානයේ ඉහළම පෙළේ හමුදා සහ දේශපාලන නායකයන් මෙලෙස එකවර අහිමි වීම එරට පාලන තන්ත්‍රයට එල්ල වූ දරුණුතම පහරක් ලෙස සැලකේ.














