ඉරානය විසින් එල්ල කරන අඛණ්ඩ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ බහරේනයේ වෙසෙන තම පුරවැසියන්ට අතිශය විමසිලිමත් වන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය අද (02) විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. විශේෂයෙන්ම සංචාරක හෝටල් ත්‍රස්ත ප්‍රහාරවල ඉලක්කයක් විය හැකි බව එහි සඳහන් වේ.
බහරේනයේ මැනාමා (Manama) අගනුවර පිහිටි හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, අමෙරිකානු පුරවැසියන්ට එම හෝටල්වලින් බැහැරව සිටින ලෙස උපදෙස් දී තිබේ. ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායම් සහ එම මතවාදවලින් පෙලඹුණු පුද්ගලයන් විදේශයන්හි සිටින අමෙරිකානු වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ඊයේ (01) බහරේනයේ ජුෆෙයාර් (Juffair) හි පිහිටි අමෙරිකානු නාවික හමුදා කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් පසුව මෙම ආරක්ෂක තත්ත්වය තවත් දරුණු වී ඇත. කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බැවින්, පොදු ස්ථානවල ගැවසීමේදී අතිශය කල්පනාකාරී වන ලෙසත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.














