ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ, කුවේටයේ ස්ථාපිත කර තිබූ ඇමරිකානු ප්‍රහාරක යානා කිහිපයක් අද (මාර්තු 02) කඩා වැටී ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, කඩා වැටුණු යානාවල සිටි සියලුම ගුවන් නියමුවන් දිවි බේරා ගැනීමට සමත්ව ඇත.කුවේටයේ අලි අල් සලෙම් (Ali Al Salem) ඇමරිකානු ගුවන් කඳවුරට සැතපුම් හයක් පමණ දුරින් ඇමරිකානු F-15E ‘ස්ට්‍රයික් ඊගල්’ ප්‍රහාරක යානයක් ගිනි ගනිමින් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
එහි නියමුවා නිරුපද්‍රිතව පැරෂුට් ආධාරයෙන් බිමට පතිත වී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඔහුට ලැබී තිබේ. කෙසේ වෙතත්, මෙම යානය කඩා වැටුණේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ද, නැතහොත් ඇමරිකානු ගුවන් ආරක්ෂණ පද්ධතිවලින් එල්ල වූ වැරදි ප්‍රහාරයකින් (Friendly Fire) ද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් කර නැත.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම යුදමය තත්ත්වය තුළ ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය බීරූට් අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී. මේ හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුද ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.














