අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ නගර 131ක් ඉලක්ක කර පසුගිය සෙනසුරාදා සිට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 555 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය (Red Crescent) අද (02) තහවුරු කළේය. මෙම ප්‍රහාර මාලාවත් සමඟ සමස්ත මැදපෙරදිග කලාපයම දැඩි යුද ගින්නකට මැදිව පවතී.
ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරන පරිදි ගැහැණු ළමයින්ගේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පමණක් දරුවන් ඇතුළු 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාර හමුවේ රෝහල් 9කට දැඩි හානි සිදුව ඇති අතර, ඉරානයේ සිටි චීන ජාතිකයෙකු ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ‘බෙයිට් ෂෙමේෂ්’ (Beit Shemesh) නගරයේ බෝම්බ ආරක්ෂක කුටියකට (Bomb Shelter) හානි සිදුවීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තිබේ. ඊශ්‍රායල මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා එරට වැසියන් 10 දෙනෙකු මියගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
කුවේට් හි සිටි අමෙරිකානු සෙබළුන් 3 දෙනෙකු ද, ඉරාකයේ ඉරාන හිතවාදී සන්නද්ධ සාමාජිකයන් 4 දෙනෙකු ද ප්‍රහාරවලින් මියගොස් තිබේ. මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ප්‍රතිප්‍රහාරවලින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් ඇති අතර බහරේනයේ කාර්මික කලාපයකට වැටුණු මිසයිල සුන්බුන් හේතුවෙන් විදේශීය නෞකාවක ගින්නක් හටගෙන එක් අයෙකු මියගොස් ඇත.














