ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණය රජයේ ආයතන භාවිතයෙන් ඉවත් කරන ලෙස නියෝග කර පැය කිහිපයක් ගත වීමටත් පෙර, ඉරානයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයේදී අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් ‘ක්ලෝඩ්’ (Claude) කෘත්‍රිම බුද්ධි පද්ධතිය භාවිතා කර ඇති බව Wall Street Journal වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි 27 වැනිදා (සිකුරාදා) ජනාධිපති ට්‍රම්ප් විසින් ඇන්ත්‍රොපික් සමාගම “වාමවාදී” (Leftwing) ආයතනයක් ලෙස හඳුන්වමින්, එහි තාක්ෂණය වහාම අත්හිටුවන ලෙස නියෝග කළේය. එහෙත්, යුද මෙහෙයුම්වලදී මෙම තාක්ෂණය දැනටමත් බද්ධ වී ඇති බැවින් එය ඉවත් කිරීමට මාස 6ක කාලයක් ලබා දී තිබුණි. එම සහන කාලය උපයෝගී කරගනිමින්, සෙනසුරාදා සහ ඉරිදා ඉරානයට එල්ල වූ ප්‍රහාරවලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය, ඉලක්ක හඳුනා ගැනීම සහ යුද පිටියේ අනුකරණ (Battle simulations) සඳහා ‘ක්ලෝඩ්’ සෘජුවම දායක වී ඇත.
ඇන්ත්‍රොපික් සමාගම සහ පෙන්ටගනය අතර පවතින මෙම ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, තම AI තාක්ෂණය මගින් මිනිස් මැදිහත් වීමකින් තොරව ක්‍රියා කරන ස්වයංක්‍රීය මාරක අවි (Autonomous Weapons) නිපදවීමට හෝ අමෙරිකානු වැසියන්ව මහා පරිමාණයෙන් නිරීක්ෂණය (Mass Surveillance) කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවට එම සමාගම ගෙන ඇති දැඩි තීරණයයි. මෙය අමෙරිකානු ආරක්ෂක අංශවල විවේචනයට ලක් වූ අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එම සමාගම “ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සැපයුම් දාම අවදානමක්” (Supply Chain Risk) ලෙස නම් කර තිබේ.














