ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් සිව්වන දිනටත් උත්සන්න වෙමින් පවතින අතර, කාබුල් නුවරට උතුරින් පිහිටි උපායමාර්ගිකව වැදගත් බග්‍රාම් (Bagram) ගුවන් කඳවුරට එල්ල වූ පාකිස්ථාන ගුවන් ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බව තලේබාන් රජය නිවේදනය කරයි. පර්වාන් පළාත් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අද අලුයම 5:00ට පමණ ඇෆ්ගන් ගුවන් සීමාවට ඇතුළු වූ පාකිස්ථාන ප්‍රහාරක යානා බග්‍රාම් කඳවුරට බෝම්බ හෙළීමට උත්සාහ කළ අවස්ථාවේදී, සිය ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර එම ප්‍රහාර මැඩපැවැත්වූ බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ මෙම ගැටුම් මේ වන විට “විවෘත යුද්ධයක්” (Open War) දක්වා වර්ධනය වී ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර තිබේ. තම රට තුළ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන කණ්ඩායම්වලට ඇෆ්ගනිස්ථානය රැකවරණය ලබා දෙන බවට පාකිස්ථානය චෝදනා කරන අතර, ඇෆ්ගනිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන්ම මෙවර පාකිස්ථානය සිය ප්‍රහාර ඇෆ්ගන් රජයේ මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් දියත් කිරීම දෙරට අතර සබඳතාවල තීරණාත්මක හැරවුම් ලක්ෂයකි.
දෙපාර්ශවයම ලබාදෙන මරණ සංඛ්‍යාවන් එකිනෙකට පරස්පර වේ. ඇෆ්ගනිස්ථානය පවසන්නේ පාකිස්ථාන ප්‍රහාරවලින් සිවිල් වැසියන් 36 දෙනෙකු සහ සෙබළුන් 13 දෙනෙකු මියගොස් ඇති බවත්, තමන් පාකිස්ථාන සෙබළුන් 80කට අධික පිරිසක් මරා දැමූ බවත්ය. කෙසේ වෙතත්, පාකිස්ථාන තොරතුරු අමාත්‍යවරයා පවසන්නේ තමන් ඇෆ්ගන් සෙබළුන් 415 දෙනෙකු මරා දමා ඇති අතර තම පාර්ශවයෙන් මියගොස් ඇත්තේ සෙබළුන් 12 දෙනෙකු පමණක් බවයි. සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය මැදිහත් වී සටන් විරාමයක් ඇති කිරීමට උත්සාහ කළද, මේ දක්වා එය සාර්ථක වී නොමැති අතර දේශසීමා ආසන්නයේ දරුණු ගැටුම් තවදුරටත් වාර්තා වේ.














