කුවේට් රාජ්‍යයේ ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරකට අනුයුක්ත ගුවන් යානා කිහිපයක් අද (02) සවස් කාලයේදී අනතුරට ලක්ව ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ අමෙරිකානු ගුවන් මෙහෙයුම් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම අනතුර වාර්තා වීම විශේෂත්වයකි.
කුවේට් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක කර්නල් සයිඩ් අල්-අට්වාන් (Col. Said Al-Atwan) ප්‍රකාශ කර ඇත්තේ අනතුරට පත් යානාවල සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් දිවි ගලවා ගැනීමට සමත් වී ඇති බවයි. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවල එක් හමුදා ජෙට් යානයක් වේගයෙන් පොළොවට කඩා වැටෙන අයුරුත්, එහි ගුවන් නියමුවා පැරෂූට් ආධාරයෙන් නිරුපද්‍රිතව බිමට පතිත වන අයුරුත් දැක්වේ.
අනතුර වාර්තා වූ වහාම කුවේට් සහ අමෙරිකානු ආරක්ෂක අංශ එක්ව ඒකාබද්ධ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවූයේ යාන්ත්‍රික දෝෂයක් නිසාද නැතිනම් ඉරානය හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයක් නිසාද යන්න පිළිබඳව අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය (Pentagon) මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.













