පසුගිය පෙබරවාරි 14 වනදා සිට අතුරුදන්ව සිටි 36 හැවිරිදි ඇන්ඩෲ ගිඩන්ස් (Andrew Giddens) නැමැති පුද්ගලයා, සතියකට වැඩි කාලයකට පසු ෆ්ලොරිඩාවේ පට්නම් (Putnam) ප්‍රාන්තයේ වැලි පිරිපහදු මධ්‍යස්ථානයක් ආසන්නයේ මඩේ සිරවී සිටියදී සොයාගෙන තිබේ. ඔහුගේ කර ප්‍රමාණය දක්වා මඩේ ගිලී සිටි ඇන්ඩෲ, දින කිහිපයක් තිස්සේ ආහාර හෝ ජලය නොමැතිව දැඩි සීතලට මුහුණ දෙමින් මාරාන්තික අත්දැකීමකට මුහුණ දී සිටියේය.
පෙබරවාරි 23 වනදා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු විසින් අතහැර දමා තිබූ මෝටර් රථයක් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ විය. Vulcan Materials සමාගමට අයත් පෞද්ගලික භූමියක සිදුකළ සෝදිසි කිරීමකදී, එහි සේවකයෙකු විසින් මඩ වගුරක සිරවී සිටි ඇන්ඩෲව සොයාගනු ලැබීය. ඔහු වටා තිබූ පොළොව අස්ථාවර බැවින් සේවකයන්ට ඔහු වෙත ළඟා වීමට නොහැකි වූ අතර, පසුව ගිනි නිවන ඒකකයේ විශේෂ කණ්ඩායම් පැමිණ ඉණිමං, ලණු සහ විශේෂ උපකරණ භාවිත කරමින් පැය තුනක මෙහෙයුමකින් පසු ඔහු මුදාගත්හ.
තම පෙම්වතිය සමඟ ඇති වූ විරසකයක් හේතුවෙන් ඇන්ඩෲ දැඩි මානසික පීඩනයකින් පසුවූ බවත්, ඒ අතරතුර ඔහු මෙම පෞද්ගලික දේපළට ඇතුළු වන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි. ඔහු දින හතරක් පමණ මඩේ සිරවී සිටින්නට ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන අතර, ඔහුව හමු වූ අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බැවින් ගුවන් ගිලන් රථයක් මගින් රෝහල් ගත කෙරිණි. ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සලකා බලා, අවසරයකින් තොරව පෞද්ගලික දේපළකට ඇතුළු වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් කටයුතු නොකරනු ඇත.














