අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව ලෝකයම දැඩි අවධානයෙන් පසුවන පසුබිමක, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
බුෂෙහර් (Bushehr) පරමාණුක බලාගාරය හෝ ටෙහෙරාන් පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය ඇතුළු ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි සිදු වූ බවට මෙතෙක් නිල සාක්ෂි ලැබී නොමැති බව රෆායෙල් ග්‍රොසි මහතා පවසයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව විමසීමට ඉරාන න්‍යෂ්ටික බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔවුන්ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.
IAEA ප්‍රධානියාගේ ප්‍රකාශයට පටහැනි අදහසක් දක්වමින්, ඉරාන තානාපති රේසා නජාෆි (Reza Najafi) පවසා ඇත්තේ ඉරිදා දිනයේදී ‘නටන්ස්’ (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ බවයි. නටන්ස් යනු ඉරානයේ ප්‍රධානතම යුරේනියම් සාරවත් කිරීමේ මධ්‍යස්ථානය වන අතර, එහි ආරක්ෂාව පිළිබඳව පවතින්නේ දැඩි අවිශ්වාසයකි.
න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම මගින් කලාපය පුරා විකිරණ කාන්දු වීමේ (Radiation leak) දැඩි අවදානමක් පවතින බැවින්, සෞදි අරාබිය, කුවේටය සහ කටාර් වැනි අසල්වැසි රටවල් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ. හමුදා මෙහෙයුම්වලදී උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියි.














