මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (02) ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් මෙරට අපනයනකරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදු කිරීමට රජය පියවර ගෙන ඇත.
මැදපෙරදිග රටවල් ඉලක්ක කරගත් තේ ඇතුළු මෙරට අපනයන ද්‍රව්‍ය දැනට කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී. නාවික ගමන් වාර අවලංගු වීම හෝ ප්‍රමාද වීම නිසා වරාය තුළ බහාලුම් (Containers) ගොඩගැසීමෙන් ඇති විය හැකි අනවශ්‍ය තදබදය වැළක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රධානතම වෙළඳපොළක් වන්නේ මැදපෙරදිග කලාපයයි. පවතින සටන්කාමී තත්ත්වය හමුවේ තේ අපනයනයට එල්ල විය හැකි දැඩි බලපෑම අවම කරගැනීම සඳහා විකල්ප වෙළඳපොළවල් (Alternative Markets) සොයා ගැනීමට රජය මේ වන විටත් අදාළ ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
ගෝලීය නාවික සමාගම් කිහිපයක්ම රතු මුහුද සහ ගල්ෆ් කලාපය හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, එමගින් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.














