අනුරාධපුර, ඔත්තප්පුව ප්‍රදේශයේ අද (02) පැවති ජන හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ එරට සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත සහ රැකියා සුරක්ෂිත කිරීමට රජය වහාම උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබා දෙමින් “රටට හුස්ම ලබා දෙන” දස ලක්ෂයකට අධික ශ්‍රමිකයන් පිරිසක් මැදපෙරදිග සේවය කරන බවත්, ඔවුන් මේ වන විට දරුණු යුද අවදානමකට මැදි වී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. පීඩාවට පත් කාන්තාවන් සහ තරුණයන් ඇතුළු මෙම පිරිස ආරක්ෂා කර ගැනීම රජයේ මූලික වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් 1989 ක්ෂණික ඇමතුම් අංකය හරහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මැදපෙරදිග පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, පවුල්වල සාමාජිකයන්ට තොරතුරු ලබාගැනීම සඳහා +94 71 980 2822 සහ +94 74 259 5546 යන අංක හඳුන්වා දී තිබේ. මීට අමතරව විදේශයන්හි සිටින ලාංකිකයන්ට අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත්, නිරන්තරයෙන් තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණය පවත්වා ගන්නා ලෙසත් රජය උපදෙස් දී ඇත.














