ඇමරිකා එක්සත් ජනපදයේ 42 වන ජනාධිපති බිල් ක්ලින්ටන්, මියගිය බාලවයස්කාර අපචාරකයෙකු වන ජෙෆ්රි එප්ස්ටයින්ගේ ලිපිගොනුවල අඩංගු මතභේදාත්මක ‘හොට් ටබ්’ ඡායාරූපය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (පෙබරවාරි 27) සාක්ෂි ලබා දී තිබේ. නිව්යෝර්ක් නුවරදී පැවැත්වූ රහසිගත සාක්ෂි විමසීමකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව හමුවේ ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
මෙම ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ අදාළ ඡායාරූපයේ සිටින හඳුනා නොගත් කාන්තාව සහ ක්ලින්ටන් අතර පැවති සබඳතාවයේ ස්වභාවය පිළිබඳවයි. එප්ස්ටයින්ගේ ලිපිගොනු ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය. ක්ලින්ටන්ට පෙර ඔහුගේ බිරිඳ වන හිලරි ක්ලින්ටන් ද බ්‍රහස්පතින්දා (පෙබරවාරි 26) මෙලෙස කමිටුව හමුවේ සාක්ෂි ලබා දී තිබුණි.
මෙම සාක්ෂි විමසීම වසා දැමූ දොරවල් පිටුපස සිදු වූවක් බැවින්, ක්ලින්ටන් ලබා දුන් පිළිතුරු පිළිබඳ නිල වාර්තා තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත. කෙසේ වෙතත්, ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සබඳතා හේතුවෙන් ලොව පුරා ප්‍රබල දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන් රැසක් මේ වන විට නීතිමය පීඩනයකට ලක්ව සිටිති. මෙම ඡායාරූපය සහ ඒ ආශ්‍රිත කරුණු හෙළිදරව් වීම ඇමරිකානු දේශපාලනය තුළ නැවතත් දැඩි උණුසුමක් ඇති කිරීමට සමත්ව තිබේ.














