මැක්ඩොනල්ඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් කෙම්ප්සින්ස්කි (Chris Kempczinski) සිය ආයතනයේ අලුත්ම “බිග් ආර්ච්” (Big Arch) බර්ගර් වර්ගය රස බලන ආකාරය දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි විවේචනයට සහ උපහාසයට ලක්ව තිබේ.
ක්‍රිස් කෙම්ප්සින්ස්කි මෙම දැවැන්ත බර්ගර් එක අනුභව කිරීමට පෙර එය හඳුන්වා දීමේදී “නිෂ්පාදනයක්” (Product) යන වචනය භාවිතා කිරීම බොහෝ දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක් විය. ආහාරයක් සඳහා මෙලෙස කාර්මික වචනයක් භාවිතා කිරීම අස්වාභාවික බව බොහෝ දෙනා පෙන්වා දෙති. එමෙන්ම වීඩියෝව පුරා ඔහු එම බර්ගර් එක කෑමට මැලි වන ස්වරූපයක් පෙන්වන අතර, “මෙය කොහෙන් කන්න පටන් ගන්නදැයි මා දන්නේ නැහැ” යනුවෙන් පවසමින් ඉතා කුඩා කැබැල්ලක් පමණක් සපන ආකාරය දැක්වේ.
සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන්නේ ඔහු කිසිසේත්ම මැක්ඩොනල්ඩ්ස් ආහාර අනුභව කරන අයෙකු නොවන බවත්, ඔහුගේ පෙනුම “කේල් සලාද” (Kale Salad) කන අයෙකුගේ වැනි බවත්ය. “ඔහු බර්ගර් එකට බය වෙලා වගේ පේන්නේ ඇයි?” යනුවෙන් එක් පරිශීලකයෙකු විමසා තිබුණි.
මෙම නව “බිග් ආර්ච්” බර්ගර් එක කැලරි 1,020කින් සමන්විත වන අතර, එය සාමාන්‍ය බිග් මැක් (Big Mac) වේලක සම්පූර්ණ කැලරි ප්‍රමාණයට සමාන වේ. මෙය හෙට (03) සිට අමෙරිකානු වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය.














