මැදපෙරදිග කලාපයේ පවතින ආක්‍රමණශීලී සහ ගැටුම්කාරී වාතාවරණය ගෝලීය සාමයට මෙන්ම ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X (ට්විටර්) ගිණුම හරහා විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. විශේෂයෙන්ම සෞදි අරාබිය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ බහරේනය වැනි රටවල් කරා මෙම යුද ගිනි ව්‍යාප්ත වීම හෙළා දකින බව පවසන ඔහු, එම රටවල සේවය කරන ලක්ෂ 10කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් විය යුතු බව පෙන්වා දෙයි. පවතින යුදමය තත්ත්වය වහාම නවත්වා සාමකාමී සාකච්ඡා සඳහා ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බවත්, මෙරට අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා හදිසි අවස්ථා නියෝග දීර්ඝ කිරීම කාලෝචිත පියවරක් ලෙස පෙනී යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














