ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන යුද මෙහෙයුම් පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අද විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම ලෙස මෙය හඳුන්වා දුන් ඔහු අවධාරණය කළේ තමන් යුද්ධය ආරම්භ නොකළද ජනාධිපති ට්‍රම්ප් යටතේ එය අවසන් කරන බවයි. වසර 47ක ඉරාන සටන්කාමීත්වයට තිත තැබීම මෙහි අරමුණ බවත්, විශේෂයෙන්ම ‘ඔපරේෂන් මිඩ්නයිට් හැමර්’ (Operation Midnight Hammer) මගින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට පියවර ගත් බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය. මෙම ප්‍රහාරය හුදෙක් පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ යුද්ධයක් නොවන බවත්, ටෙහෙරානයේ මිසයිල සහ අනෙකුත් ආරක්ෂක යටිතල පහසුකම් විනාශ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා, මෙය අවසානයක් නොමැති දීර්ඝ යුද්ධයක් කරා යොමු නොවන බවට ද සහතික විය. අමෙරිකානුවන්ට තර්ජනයක් වන ඕනෑම අයෙකු හඹා ගොස් දඬුවම් කරන බවට අනතුරු ඇඟවූ ඔහු, මෙහෙයුම් අතරතුර මියගිය අමෙරිකානු භටයන් ද ගෞරවයෙන් සිහිපත් කරමින් බුද්ධිමත් තීරණ ගන්නා ලෙස ඉරාන ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේය.














