සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සහ තවත් පාර්ශ්වයක් අතර ඇති වූ රුපියල් 5,000ක ඔට්ටුවක් හේතුවෙන් පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් පිළිබඳව නැවතත් දේශපාලන කරළියේ දැඩි අවධානයක් යොමු වී තිබේ. 2024 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධුර නවයක් හිමි වූ අතර ඉන් මන්ත්‍රී ධුර හතක්ම අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් විය. මෙම ඔට්ටුවට පාදක වූ එම මන්ත්‍රීවරුන් හත්දෙනා වන්නේ වසන්ත සමරසිංහ, සේන නානායක්කාර, සුසිලා පල්ලියගුරුගේ, සුසිල් රණසිංහ, ජයන්ත චිත්‍රාලාල්, තිලක් හෙට්ටිආරච්චි සහ හර්ෂණ නිරෝෂණ යන මහත්ම මහත්මීන්ය. ජාතික ජන බලවේගය ඉතිහාසගත ජයක් ලැබූ මෙම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය වෙනුවෙන් තේරී පත් වූයේ රෝහණ බණ්ඩාර සහ සුරංග රත්නායක යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. මෙම අපූරු ඔට්ටුවත් සමඟ ජනතාව අතර වැඩි වශයෙන් කතාබහට ලක් නොවූ ඇතැම් නවක මන්ත්‍රීවරුන්ගේ නම් ද්වාරය නැවතත් කරළියට පැමිණ ඇති අතර එය සමාජ මාධ්‍ය තුළ හාස්‍යජනක මෙන්ම දේශපාලනික කතිකාවක් ද නිර්මාණය කර තිබේ.













