මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් දියත් කරන ආක්‍රමණශීලී ප්‍රහාරයන් (Offensive strikes) සඳහා බ්‍රිතාන්‍යය සෘජුවම දායක නොවන බව අගමැති කීය ස්ටාමර් (Keir Starmer) අද (02) අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉරාන මිසයිල පද්ධති දියත් කිරීමට පෙර ඒවා විනාශ කර දැමීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීමට අමෙරිකාව කළ ඉල්ලීමට අනුමැතිය ලබා දුන් බව ඔහු හෙළි කළේය. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වන මිසයිල ප්‍රහාර වැළැක්වීම මෙම තීරණයේ අරමුණ බව අගමැතිවරයා පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යය මෙන්ම ප්‍රංශය සහ ජර්මනිය ද ඉරානයේ මිසයිල හැකියාව මැඩපැවැත්වීම සඳහා තම රටවල පවතින අමෙරිකානු කඳවුරු භාවිතයට ඉඩ දීමට සූදානමින් සිටින බව අගමැති ස්ටාමර් වැඩිදුරටත් අනාවරණය කළේය. කඳවුරු පහසුකම් ලබා දුන්නද, බ්‍රිතාන්‍ය හමුදා සෘජු ප්‍රහාරක මෙහෙයුම්වලට හවුල් නොවන බව පවසමින් ඔහු උත්සාහ කරන්නේ කලාපීය යුද්ධයකට බ්‍රිතාන්‍යය සෘජුවම ඇද වැටීම වළක්වා ගැනීමටයි. මෙම තීරණයත් සමඟ යුරෝපා බලවතුන් මැදපෙරදිග අර්බුදයේදී අනුගමනය කරන ද්විත්ව උපායමාර්ගය පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.













