ගම්පහ, බුත්පිටිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ඩීසල් ලීටර් 400ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත් විය. රහසිගත බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීම, රට තුළ පවතින ඉන්ධන ඉල්ලුම හමුවේ ඇතැම් පිරිස් සිදුකරන කළුකඩ ජාවාරම් මැඩපැවැත්වීමේ පියවරක් ලෙස සැලකේ. ඉන්ධන අනවශ්‍ය ලෙස රැස් කරන්නන් සොයා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, පිරවුම්හල් ආශ්‍රිතව ආරක්ෂාව සැපයීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබාගෙන තිබේ.
මේ අතර, අද (02) සාමාන්‍ය නිවාඩු දිනයක් වුවද පෙට්‍රල් ලීටර් ලක්ෂ 95ක් සහ ඩීසල් ලීටර් ලක්ෂ 84කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. දෛනික අවශ්‍යතාව ඉක්මවා ඉන්ධන තොග බෙදා හැර ඇති බැවින්, පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇති කර නොගන්නා ලෙස සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉන්ධන පද්ධතියේ පවතින සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, කෘතිම හිඟයක් ඇති කිරීමට උත්සාහ කරන්නන්ට එරෙහිවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව බලධාරීන් අවධාරණය කරයි.












