සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණයෙන් අද (මාර්තු 03) අලුයම විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත්, ඉන් අනතුරුව එහි ගින්නක් හටගෙන ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමීපව දන්නා පුද්ගලයන් තිදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, තානාපති කාර්යාල පරිශ්‍රයෙන් ගිනිදැල් සහ කළු දුමාරයක් නැග එනු දක්නට ලැබුණු බවයි. කෙසේ වෙතත්, එක් පාර්ශවයක් පවසා ඇත්තේ මෙය සුළු ගින්නක් බවයි.
විදේශීය තානාපති කාර්යාල සහ දූත මණ්ඩල පිහිටා ඇති රියාද්හි රාජ්‍යතාන්ත්‍රික දිස්ත්‍රික්කයට (Diplomatic Quarter) ඉහළින් කළු දුමාරයක් පවතින අයුරු නිරීක්ෂණය වූ බව ප්‍රදේශවාසීහු පවසති. මෙම සිදුවීමට හේතුව හෝ ඒ අවස්ථාවේ පැවති තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් අනාවරණය වී නොමැත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ සවුදි රජයේ මාධ්‍ය අංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ අමෙරිකානු දූත මණ්ඩල ඉලක්ක කරගනිමින් මෙවැනි සිදුවීම් වාර්තා වීම ජාත්‍යන්තර අවධානයට යොමු වී තිබේ. මෙම සිද්ධියෙන් කිසියම් පුද්ගලයෙකුට හානියක් සිදුවී ඇත්ද නැද්ද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නොමැති අතර, සවුදි ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව පැවසේ.














