ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) විසින් ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවත්, එම සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවත් නිවේදනය කර තිබේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හටගත් දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ ඉරානය මෙම තීරණය ගෙන ඇත. ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින්, මෙම පියවර හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.
මෙම නිවේදනය නිකුත් වීමට සුළු වේලාවකට පෙර, හොන්ඩුරාස් රාජ්‍යයේ ධජය යටතේ ගමන් කළ ‘Athe Nova’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එය හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිනි ගනිමින් පවතින බව වාර්තා වේ. අදාළ නෞකාව අමෙරිකානු නාවික හමුදාවට ඉන්ධන සපයමින් සිටි බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය චෝදනා කරන අතර, එය අමෙරිකාව සමඟ එක්ව කටයුතු කරන නෞකාවක් ලෙස ඔවුන් හඳුන්වා දී ඇත. නෞකා නිරීක්ෂණ දත්ත පද්ධති (VesselFinder) මගින් ද ප්‍රහාරයට පෙර මෙම නෞකාව අදාළ කලාපයේ රැඳී සිටි බව තහවුරු කර තිබේ.
සෞදි අරාබිය, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ගේ අපනයන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම කලාපීය සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ඉරාන හමුදා ප්‍රකාශකයා මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව රජයේ රූපවාහිනිය ඔස්සේ කරුණු දක්වමින්, ගල්ෆ් කලාපයේ ඉරාන ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.














