‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ නායයෑමට ලක්වූ පවුල් 25ක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ කූඩාරම් තුළ අන්ත අසරණව පසුවෙති. ආරක්ෂිත පියවරක් ලෙස රජය මගින් මෙම තාවකාලික කූඩාරම් ලබා දුන්නද, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඒවායේ රැඳී සිටීම දැඩි අවදානමක් බව එම ජනතාව පෙන්වා දෙති. ආරම්භයේදී පොදු ස්ථානවල සහ කෝවිල්වල ලැගුම් ගෙන සිටි මෙම පිරිස පසුව මෙම කූඩාරම් වෙත යොමු කර ඇත.
විශේෂයෙන්ම ප්‍රදේශයට බලපාන අධික සුළං සහ වැසි තත්ත්වයන් හමුවේ මෙම කූඩාරම් පදිංචියට නුසුදුසු මට්ටමකට පත්ව ඇති අතර, කුඩා දරුවන් සහ වැඩිහිටියන් විවිධ රෝගාබාධවලට ද ලක්වීමේ අවදානමක් පවතී. තමන්ට ස්ථිර නිවාස ලබා දෙන බවට රජය ලබා දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බවත්, තවත් මාරාන්තික වැසි කාලයක් උදාවීමට ප්‍රථම තමන් ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙසත් අවතැන් වූවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඉදිරි දිනවලදී කොත්මලේ ප්‍රදේශයට නැවතත් තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළවී තිබීම මෙම ජනතාවගේ බිය තවදුරටත් වැඩිකර තිබේ. වතු නිවාස ව්‍යාපෘති යටතේ කඩිනමින් තමන්ට විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් අවධාරණය කරයි.














