කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය එක්ව සිදුකළ වැටලීමකදී, රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා ‘තාරකා ඉබ්බන්’ 25 දෙනෙකු නීතිවිරෝධී ලෙස රටින් පිට කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 සහ 45 හැවිරිදි වියේ පසුවන සුරතල් සතුන් අලෙවි කිරීමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් ඊයේ (02) පෙරවරු 7:40 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-314 දරන ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාමට සූදානම්ව සිට ඇත.
ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙකක් පරීක්ෂා කිරීමේදී, තෙත රෙදිවල ඔතා ඉතා සූක්ෂ්ම ලෙස සඟවා සිටි මෙම ඉබ්බන් රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
තාරකා ඉබ්බන් යනු මෙරට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත සත්ව විශේෂයක් වන අතර ඔවුන් විදේශගත කිරීම සපුරා තහනම් වේ.














