මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උග්‍ර යුදමය තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල සහ සංචාරකයන් රැඳී සිටින හෝටල්වල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
විදේශීය දූත මණ්ඩල පිහිටි පරිශ්‍රයන් වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට හෝ කලහකාරී ලෙස විරෝධතා දැක්වීමට ඇති ඉඩකඩ වළක්වාලීම සඳහා කොළඹ අගනුවර සහ ප්‍රධාන සංචාරක පුරවරයන්හි දිවා රාත්‍රී ජංගම මුර සංචාර දැඩි කර ඇත. විශේෂයෙන්ම දිවයින පුරා පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථාන (Chabad Centres) වෙත පැය 24 පුරා ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබේ.
මේ දිනවල පැවැත්වෙන පාසල් “මහා ක්‍රිකට් තරග” (Big Matches) සඳහා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබීම නිසා ආරක්ෂක කටයුතු සඳහා යම් මානව සම්පත් හිඟයක් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. කෙසේ වෙතත්, ක්‍රිකට් තරග අවසන් වූ වහාම එම නිලධාරීන් ද තානාපති කාර්යාලවල ආරක්ෂක වළලු ශක්තිමත් කිරීමට යොදවන බව පොලිසිය සහතික වෙයි.
කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින අතර, ගුවන් ගමන් අවලංගු වීම් හේතුවෙන් අපහසුතාවයට පත්වන සංචාරකයන් ආරක්ෂිතව හෝටල් වෙත ප්‍රවාහනය කිරීමට ද විශේෂ විධිවිධාන යොදා ඇත.
පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට විරෝධතාකරුවන් කඩා වැදීමට උත්සාහ කිරීමේදී පුද්ගලයන් 22ක් මියගොස් ඇති බව වාර්තා වේ. එවැනි තත්ත්වයන් මෙරට තුළ ඇති වීම වැළැක්වීමට රජය දැඩි අවධානයෙන් පසුවේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද ලොව පුරා සිටින සිය පුරවැසියන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනටමත් දැනුම් දී තිබේ.














