පසුගිය පාලන සමයන්හිදී දේශපාලන හිතවත්කම් මත විවිධ පුද්ගලයන්ට, පවා දේවාලවල කපු මහත්වරුන්ට පවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පවසයි. මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති “ඇසි දිසි පියවර” පුහුණු වැඩමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පතට ‘P’ අකුරක් යොදා ඔවුන්ව දෙවැනි පෙළේ කොටසක් ලෙස සැලකීමේ ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මීට පෙර හැඳුනුම්පත් 8,100ක් පමණ නිකුත් කර තිබූ බව සමීක්ෂණයකදී හෙළි වූ අතර, විධිමත් නියාමනයක් හරහා එය 4,700ක් දක්වා අවම කිරීමට මේ වන විට කටයුතු කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ 2026 අයවැය මගින් මාධ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණය දියුණු කිරීමට රුපියල් මිලියන 50ක් ද, අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 104ක් ද වෙන් කර තිබේ. මාධ්‍යවේදීන්ගේ උසස් අධ්‍යාපනය (ඩිප්ලෝමා, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි) වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූහ.














