රුසියාවේ එකටරින්බර්ග් (Yekaterinburg) නුවරදී පැවැත්වීමට නියමිත 2026 ජාත්‍යන්තර තරුණ සමුළුව (International Festival of Youth 2026) සඳහා අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. වයස අවුරුදු 14ත් 35ත් අතර පසුවන ඕනෑම ශ්‍රී ලාංකික තරුණ තරුණියකට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර, අප්‍රේල් මස 30 වැනිදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ.
එළැඹෙන සැප්තැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත සමුළුව රුසියාවේ “Youth and Children” ජාතික ව්‍යාපෘතිය යටතේ සංවිධානය වන්නකි. ලොව පුරා රටවල් 100කින් පමණ තරුණ නායකයන් 5,000ක් සහ රුසියාවෙන් තරුණ නායකයන් 5,000ක් ලෙස මුළු සහභාගීත්වය 10,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිර්මාණශීලී කර්මාන්ත, මාධ්‍ය, විද්‍යා හා තාක්ෂණ, ව්‍යවසායකත්වය, ක්‍රීඩා සහ ඩිජිටල් නවෝත්පාදන වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන්ට මෙහිදී ප්‍රමුඛතාව හිමි වේ.
දින 7ක කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අන්තර් ක්‍රියාකාරී වැඩමුළු, වෘත්තීය සංවාද, සංස්කෘතික ප්‍රදර්ශන සහ ජාලගත වීමේ අවස්ථාවන්ගෙන් සමන්විතය. ශ්‍රී ලංකාවේ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාරියා පොපොවා මහත්මිය සඳහන් කළේ, සහභාගී වන්නන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ස්වාධීනව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවයි. මීට අමතරව මෙම උත්සවය සඳහා 2,000ක ජාත්‍යන්තර ස්වේච්ඡා සේවක කණ්ඩායමක් ද තෝරා ගැනීමට නියමිතය.













