පහල්ගාම් (Pahalgam) ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර හටගත් ‘සින්දූර් මෙහෙයුම’ (Op Sindoor) හෙවත් හමුදාමය ගැටුමෙන් මාස කිහිපයකට පසු, නවදිල්ලිය තවත් යුද්ධයක් සඳහා සූදානම් වන බවට පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි චෝදනා කරයි. පාකිස්ථාන පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ සැසියක් අමතමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් යුධ පිටියෙන් ඉවත්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඔහු ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හා ඝෝෂා මධ්‍යයේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, අර්ථවත් සාකච්ඡා මාර්ගයට පිවිසීම පමණක් කලාපීය ස්ථාවරත්වය සඳහා ඇති එකම මාවත බවයි. ඉන්දියාවට අමතරව, තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානය සමඟ ද පවතින ගැටුම් නිරාකරණය කර ගැනීමට සාකච්ඡා අවශ්‍ය බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.














