ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සහ පවතින ඉරාන – ඊශ්‍රායල ගැටුම හමුවේ මෝදි රජය අනුගමනය කරන ‘සලිත කරවන සුලු නිහඬතාව’ ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු පක්ෂයේ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මිය ප්‍රශ්න කරයි. අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඊශ්‍රායල සංචාරය ද ඇය විවේචනයට ලක් කර තිබේ.
‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ (The Indian Express) පුවත්පතට ලිපියක් යොමු කරමින් ඇය අවධාරණය කර ඇත්තේ මෙවැනි බරපතළ කරුණකදී රජය පවත්වාගෙන යන නිහඬතාව කිසිසේත්ම ‘මධ්‍යස්ථ’ පිළිවෙතක් නොවන බවයි. විදේශීය රටක රාජ්‍ය නායකයෙකු ඉලක්ක කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම, එරට විදේශ ප්‍රතිපත්තියේ විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ සැක මතු කරන බව ඇය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(4) වගන්තිය උපුටා දක්වමින් සෝනියා ගාන්ධි මහත්මිය කියා සිටියේ, ඕනෑම රාජ්‍යයක දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය භාවිත කිරීම මෙමඟින් තහනම් කර ඇති බවයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ඉන්දියාව මෙවැනි මූලධර්ම උල්ලංඝනය කිරීම් හමුවේ ප්‍රතිපත්තිමය විරෝධයක් දැක්විය යුතු බවත්, එසේ නොවීම ජාත්‍යන්තර සම්මුතීන් පිරිහීමට මග පාදන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














