පසුගිය වසරේ අප්‍රේල් 22 වැනිදා කාශ්මීරයේ පහල්ගාම් (Pahalgam) හි බයිසරන් තැන්නෙහි සංචාරකයන් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ‘GoPro Hero 12’ වර්ගයේ කැමරාවක් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) චීන බලධාරීන් වෙත අධිකරණමය ඉල්ලීමක් (Letter Rogatory) ඉදිරිපත් කර තිබේ.
අදාළ GoPro කැමරාව නෙදර්ලන්තයේ නිෂ්පාදිත එකක් වුවද, එහි සැපයුම් දාමය පරීක්ෂා කිරීමේදී එය චීනයේ බෙදාහරින්නෙකු (AE Group International Limited) වෙත ලබා දී ඇති බව හෙළි වී ඇත. එමෙන්ම මෙම උපාංගය 2024 ජනවාරි 30 වැනිදා චීනයේ ඩොන්ගුවාන් (Dongguan) ප්‍රදේශයේදී සක්‍රීය කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.
ත්‍රස්තවාදීන් ප්‍රහාරයට පෙර එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට (Reconnaissance) සහ ප්‍රහාරය සැලසුම් කිරීමට මෙම කැමරාව භාවිත කර ඇති බවට NIA ආයතනය සැක කරයි. මෙහි අවසාන පාරිභෝගිකයා සහ මිලදී ගත් පුද්ගලයා පිළිබඳ වාර්තා ඇත්තේ චීන බලධාරීන් සතුව බැවින්, එම දත්ත ලබා ගැනීමට ජම්මු අධිකරණය විසින් මෙම විශේෂ ඉල්ලීම නිකුත් කිරීමට අවසර ලබා දී ඇත.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර හමුදාමය උණුසුමක් (Op Sindoor) හටගත් අතර, එවැනි පසුබිමක චීනය මෙම විමර්ශනයට ලබා දෙන සහයෝගය කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක වනු ඇත.















