ඉදිරි 2026 බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් භාරතීය ජනතා පක්ෂය (BJP) සංවිධානය කරන ‘පරිවර්තන (Poriborton) යාත්‍රා’ මාලාව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා විසින් දකුණු 24 පර්ගානාස් හි මතුරාපූර් ප්‍රදේශයේදී ඊයේ (02) ආරම්භ කරන ලදී. පාලක තෘණමූල් කොංග්‍රස් (TMC) රජයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඔහු කියා සිටියේ මෙම මෙහෙයුමේ අරමුණ හුදෙක් මහ ඇමතිවරයෙකු වෙනස් කිරීම නොව, බෙංගාලය දූෂණයෙන් සහ අයහපත් පාලනයෙන් මුදා ගැනීම බවයි.
මමතා බැනර්ජිගේ රජය යටතේ පවතින ‘සින්ඩිකේට් රාජ්‍යය’ සහ දූෂිත පාලනය අවසන් කිරීමට බෙංගාල ජනතාව පෙළගැසිය යුතු බව අමිත් ෂා මහතා මෙහිදී අවධාරණය කළේය. “පරිවර්තනය යනු එක් මහ ඇමතිවරයෙකු වෙනුවට තවත් අයෙකු පත් කිරීම නොව, බෙංගාලයේ සමස්ත පද්ධතියම වෙනස් කිරීමයි” යනුවෙන් ඔහු පැවසීය.
මුළු ප්‍රාන්තයම ආවරණය වන පරිදි පරිවර්තන යාත්‍රා 9ක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සිලිගුරි, නවද්වීප්, මෙඩිනිපූර් සහ පුරුලියා යන ප්‍රදේශවලින් ඉරිදා දින යාත්‍රා 4ක් ආරම්භ වූ අතර, සඳුදා දිනයේදී මල්ඩා, හූග්ලි, බර්ධමන්, උතුරු 24 පර්ගානාස් සහ මතුරාපූර් යන ප්‍රදේශවලින් නව යාත්‍රා ආරම්භ කෙරිණි.
තෘණමූල් රජයේ අසාර්ථකත්වය පිළිබඳව මහජන මතය බලමුලු ගැන්වීම මෙම දීපව්‍යාප්ත ව්‍යාපාරයේ අරමුණ බව අමිත් ෂා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බෙංගාලයේ පවතින දේශපාලන උණුසුම හමුවේ BJP පක්ෂය සිය මැතිවරණ සටන මෙලෙස ඉතා කලින්ම ආරම්භ කර තිබේ.














