2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සම සත්කාරකත්වය දරන අමෙරිකාව සහ ඉරානය අතර මේ වන විට නිර්මාණය වී ඇති දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ. ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ප්‍රධාන මර්මස්ථාන ඉලක්ක කර අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතින පසුබිමක, තම සතුරාගේ දේශයට (අමෙරිකාවට) ක්‍රීඩා කිරීමට යාම ඉරාන රජය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අනෙක් අතට, අමෙරිකානු රජය විසින් පනවා ඇති දැඩි වීසා සීමාවන් සහ ආරක්ෂක හේතූන් මත ඉරාන ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට අමෙරිකාවට ඇතුළු වීමට අවසර ලැබේද යන්නද ගැටලුවකි. මීට පෙර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් FIFA ආයතනය විසින් රුසියාව තහනම් කළාක් මෙන්, පවතින යුදමය වාතාවරණය මත ඉරානයටද එවැනිම තාක්ෂණික හෝ දේශපාලනික බාධාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනුමාන කෙරේ. මැදපෙරදිග යුද ගින්න මෙලෙස ක්‍රීඩා පිටියට ද පැමිණීම ලෝක පාපන්දු ලෝලීන්ගේ දැඩි කණගාටුවට හේතු වී තිබේ.














