ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට (Operation Epic Fury) ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග අරාබි රටවල් ඉලක්ක කරමින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඉරානය පවසන්නේ ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන රටවල් තම ඉලක්ක බවයි.
ගල්ෆ් කලාපීය රටවල් ඇමරිකානු නිෂ්පාදිත ‘පේට්‍රියට්’ (Patriot) වැනි උසස් ගුවන් ආරක්ෂක පද්ධති භාවිත කරමින් ඉරාන ප්‍රහාර මැඩපැවැත්වීමට උත්සාහ කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පමණක් ඉරාන ඩ්‍රෝන යානා 541ක් සහ බැලිස්ටික් මිසයිල 165ක් හඳුනාගෙන ඇති අතර, ඉන් ඩ්‍රෝන 506ක් සහ මිසයිල 152ක් සාර්ථකව විනාශ කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඉරානය සතු අතිවිශාල ඩ්‍රෝන සංඛ්‍යාව හමුවේ ආරක්ෂක මිසයිල (Interceptors) හිඟ වීමේ අවදානමක් පවතින බව ආරක්ෂක අංශ පවසයි.
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ජෙබෙල් අලි බලශක්ති මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වී ඇති අතර, එහිදී පාකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු මියගොස් තවත් 58 දෙනෙකු තුවාල ලබා ඇත.
රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලය සහ රාස් ටනුරා තෙල් පිරිපහදුව ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ.බහරේනයේ පිහිටි ඇමරිකානු 5 වැනි නාවික බලඇණිය ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති අතර, ඇමසන් (AWS) දත්ත මධ්‍යස්ථානයකට ද හානි සිදු වී ඇත.
මෙම රටවල් ද තම ගුවන් සීමාව තුළට පැමිණි ඉරාන මිසයිල සිය ගණනක් විනාශ කර ඇති අතර කටාර් රාජ්‍යය තම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමේ තර්ජනය සහ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. කටාර් රාජ්‍යය සිය ද්‍රව ස්වභාවික වායු (LNG) නිෂ්පාදනය තාවකාලිකව නතර කර තිබේ.
















