මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බරපතල බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින්, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. පවතින තත්ත්වය හමුවේ රජය දරන ස්ථාවරය සහ මෙම ගැටලුවලට රජයේ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳව මෙරට ජනතාවට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද ප්‍රකාශයක් කළ යුතු බව ඔහු එමගින් අවධාරණය කරයි.
මෙම අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් මහාචාර්ය පීරිස් මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා මෙරට ජීවන වියදම තවදුරටත් දැඩි ලෙස ඉහළ යාම, මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් හේතුවෙන් තේ ඇතුළු මෙරට අපනයන ආදායම පහළ වැටීම, ගුවන් ගමන් අවහිරතා නිසා සංචාරක වෙන් කිරීම් අවලංගු වී සංචාරක කර්මාන්තයට එල්ල වන බාධා සහ ගල්ෆ් කලාපයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ අවදානමට ලක්වීම එම කරුණු වේ.
මෙම බහුවිධ ව්‍යසනය හමුවේ ජාතික අවශ්‍යතාවය සලකා රජයට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට තමන් ඇතුළු පිරිස සූදානම් බව මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියි. මෙම බලපෑම් අවම කර ගැනීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රසිද්ධ දැනුවත් කිරීමක් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට හැකි වන පරිදි රජයේ වැඩපිළිවෙළ ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද ඔහු සිය ලිපිය මගින් ඉල්ලා ඇත.














