අද පවතින සමාජය සොබාදහමට එරෙහි ගමනක නිරත වන බවත්, එහි දරුණු ප්‍රතිවිපාක දැන් අප හමුවට පැමිණ ඇති බවත් ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැඇත්තෝ ප්‍රකාශ කරති. නාච්චාදුව, පලයාකුලම, ඔරුගල රජමහා විහාරස්ථානයේ පැවති සංස්කෘතික උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු පෙන්වා දුන්නේ මිනිසා සිය ජාතිය, ආගම, සිරිත් විරිත් සහ සොබාදහම අමතක කර දමා ඇති නිසා සොබාදහම අපට දඬුවම් කිරීමට පටන් ගෙන ඇති බවයි. සොබාදහම දඬුවම් දීමේදී හොඳ හෝ නරක කවුද කියා තෝරා බේරා නොගන්නා බවත්, එම පීඩාව සැමට පොදුවේ විඳීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.
වසර ලක්ෂ ගණනක් පුරා පැවති කඳු පවා දැන් වැස්සකට සේදී යෑම සහ සුළු වර්ෂාවකදී පවා ගංවතුර ඇති වීම තුළින් සොබාදහම මිනිසාට පණිවුඩයක් ලබා දෙන බව ආදිවාසී නායකයා පැවසීය. “ඔබ යන්නේ වැරදි පාරක, කරුණාකර එය නිවැරදි කරගන්න” යනුවෙන් සොබාදහම අපට අනතුරු ඇඟවුවද, තාමත් මිනිසාට එය තේරුම් නොගැනීම අභාග්‍යයක් බව ඔහු සඳහන් කළේය. කොරෝනා වසංගතය වැනි කාලවලදී මිනිසා අත්විඳි අසරණ තත්ත්වයන් සිහිපත් කළ ඔහු, ජාතියට, ආගමට හෝ සොබාදහමට පටහැනිව ක්‍රියා කළහොත් මානව වර්ගයාගේ පැවැත්මක් නොමැති බව පෙන්වා දුන්නේය.
සමාජීය සහ සංස්කෘතික හරයන් සුරකින පරපුරක් බිහි කිරීමේ අරමුණින් පලයාකුලම සිරි ඥානාලෝක දහම් පාසල මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. වියැකී යන සංස්කෘතික අගයන් රැක ගැනීම මෙහි මූලික අරමුණ වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














