ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය හමුදාමය ක්‍රියාමාර්ග දැඩි කිරීමත් සමඟ, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉරානය දැනටමත් මෙම සන්ධිය වසා දමා ඇති බවට ප්‍රකාශ කළද, එය සම්පූර්ණ වසා දැමීමක් ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර ලෝක වෙළඳපොළ මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.
ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති මෙම සමුද්‍ර සන්ධිය පර්සියානු ගුල්ෆ් කලාපය, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරයි. මෙහි පටුම ස්ථානය කිලෝමීටර් 33ක් පමණ වන අතර, නැව් ගමනාගමනය සඳහා ඇති මංතීරු කිලෝමීටර් 3ක් තරම් පටු වේ. එසේ වුවද, ලෝකයේ දිනපතා භාවිතා වන තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම පටු මුහුදු තීරය හරහාය.
සෞදි අරාබියාව, ඉරාකය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ප්‍රධාන තෙල් නිෂ්පාදනය කරන රටවල අපනයන කටයුතු සිදු වන්නේ මෙම මාර්ගයෙනි. විශේෂයෙන්ම කටාර් රාජ්‍යය සිය ද්‍රව ස්වභාවික වායු (LNG) අපනයනය මුළුමනින්ම පාහේ සිදු කරන්නේ මෙම සන්ධිය හරහාය. මෙම මාර්ගය අවහිර වීම හෝ ඒ පිළිබඳ පවතින තර්ජනය පවා ලෝක වෙළඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වේ.
විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ මෙම වසා දැමීම දිගුකාලීනව පැවතුනහොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යා හැකි අතර, බරපතලම තත්ත්වයකදී එය ඩොලර් 120 – 150 දක්වා ඉහළ යා හැකි බවයි. මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි මැදපෙරදිග තෙල් මත බෙහෙවින් යැපෙන රටවල ඉන්ධන මිල ඉහළ යාමට, උද්ධමනය වැඩි වීමට සහ ආර්ථික අස්ථාවරත්වයට සෘජුවම බලපානු ඇත.
















