සෞදි අරාබියේ රියාද් (Riyadh) නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත අද (මාර්තු 03) අලුයම ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. ඩ්‍රෝන යානා දෙකක් තානාපති කාර්යාල පරිශ්‍රයේ ගැටීමෙන් ගොඩනැගිල්ලට හානි සිදුව ඇති අතර කුඩා ගින්නක් ද හටගෙන ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ගොඩනැගිල්ල හිස්ව තිබීම හේතුවෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා නොවන අතර, ආරක්ෂක හේතූන් මත රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. මීට අමතරව, ජෙඩා සහ දහ්රාන් (Dhahran) ප්‍රදේශවල සිටින ඇමරිකානු වැසියන්ට වහාම ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (Shelter-in-place) නියෝග කර ඇත.
කලාපය පුරා පවතින දැඩි තර්ජනය හමුවේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් බහරේනය, ජෝර්දානය සහ ඉරාකයේ සිටින “අත්‍යවශ්‍ය නොවන” (Non-emergency) රාජ්‍ය නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම එම රටවලින් පිටවන ලෙස නියෝග කර තිබේ. බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික කඳවුරකට එල්ල වූ ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු තුවාල ලැබීම සහ රියාද් තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය මෙම තීරණයට සෘජුවම බලපා ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඇමරිකානු දේපළවලට සහ ජීවිතවලට එල්ල වන තර්ජනයන්ට ඉතා ඉක්මනින් “බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක්” ලබා දෙන බවට අනතුරු ඇඟවීය.














