ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇන් ආබර් (Ann Arbor) හි පිහිටි ‘Smoothie King’ වෙළඳසැලක සේවය කළ සේවකයන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර ඇති බව එම සමාගම නිවේදනය කරයි. මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සඳහන් ඇඳුමක් ඇඳ සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට සේවය ලබා දීම එම සේවකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
ට්‍රම්ප් යන නම සඳහන් හුඩියක් (Hoodie) හැඳ සිටි පුද්ගලයෙකුට සේවය ලබා දීමට අදාළ සේවිකාව අකමැත්ත පළ කර ඇති අතර, තම සමාගම එවැනි මතවාදයන්ට සහය නොදක්වන බව ඇය වීඩියෝවේ පවසනු දක්නට ලැබේ. ට්‍රම්ප් ඊයේ දිනයේ ඉරානය සමඟ “යුද්ධයක් ආරම්භ කළ” බව පවසමින් ඇය පාරිභෝගිකයාට සේවය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝව ටික්ටොක් (TikTok) සහ එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වීමත් සමඟ ආයතනයට එරෙහිව දැඩි විවේචන එල්ල විය. මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ Smoothie King සමාගම ප්‍රකාශ කළේ අදාළ සේවකයන් දෙදෙනා තවදුරටත් ආයතනයේ සේවය නොකරන බවයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් (Operation Epic Fury) පසුව ඇමරිකානු සමාජය තුළ දේශපාලනික වශයෙන් දැඩි බෙදීමක් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ.














