මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත බරපතළ ආර්ථික සහ සමාජීය අභියෝග පිළිබඳව අවධාරණය කරමින් හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ජීවන වියදම තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා, දැනටමත් පීඩාවට පත්ව සිටින ජනතාව ආරක්ෂා කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සඳහන් කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය මෙරට තේ අපනයනය සඳහා ප්‍රධාන වෙළෙඳපොළක් වන බැවින්, යුද්ධය නිසා එම ආදායම් අහිමි වීමේ අවදානමක් පවතින බවත් එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මීට අමතරව, ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය සහ ඇමෙරිකාව වැනි රටවලින් පැමිණීමට නියමිතව සිටි සංචාරකයින් සිය සංචාර අවලංගු කරමින් සිටීම මෙරට සංචාරක කර්මාන්තයට මාරක පහරක් වී ඇති බවත්, සමස්ත ගල්ෆ් කලාපයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින් එවන විදේශ විනිමය අඩුවීම හරහා රටේ මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටිය හැකි බවත් හිටපු අමාත්‍යවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ. මෙම තත්ත්වය හමුවේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය සුරැකීම සඳහා ජනාධිපතිවරයාගේ සෘජු අවධානය වහාම යොමු විය යුතු බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අවධාරණය කරයි.














