මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් මේ දක්වා ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් මිසයිල 450කට අධික සංඛ්‍යාවක් සහ ඩ්‍රෝන යානා 1,140ක් දියත් කර ඇති බව අල් අරාබියා (Al Arabiya) පුවත් සේවය වාර්තා කරයි. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේනය, කුවේටය සහ සෞදි අරාබිය යන රටවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු මෙන්ම සිවිල් යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වී තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ මෙය ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව දියත් කළ “True Promise 4” මෙහෙයුමේ කොටසක් බවයි.
මෙම ප්‍රහාරවලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ මිසයිල 174ක් සහ ඩ්‍රෝන 689ක් සිය ගුවන් සීමාවට ඇතුළු වූ බවයි. ඉන් බහුතරයක් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ ද, අබුඩාබි සහ ඩුබායි යන නගරවල සිදුවූ පිපිරීම්වලින් පුද්ගල මරණ 3ක් සහ 68 දෙනෙකු තුවාල ලැබූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු කඳවුරු ද මෙලෙස දැවැන්ත මිසයිල වර්ෂාවකට ලක්ව ඇති අතර, ඉරානය පවසන්නේ තමන් සතු තවත් නවීනතම මිසයිල මාදිලි ඉදිරි ප්‍රහාර සඳහා සූදානම් කර ඇති බවයි. ගල්ෆ් කලාපයේ රටවල් මෙම “අසාධාරණ ආක්‍රමණය” දැඩි ලෙස හෙළා දකිමින් සිටින අතර, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව පවසයි.















