ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නිල යූටියුබ් (YouTube) නාලිකාව ග්‍රාහකයින් (Subscribers) මිලියන 30 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එමගින් ලොව වැඩිම පිරිසක් අනුගමනය කරන රාජ්‍ය නායකයා ලෙස ඔහු සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබේ. ඩිජිටල් අවකාශය හරහා ජනතාව සමඟ පවතින සන්නිවේදනය අතින් ඔහු අනෙකුත් ලෝක නායකයන්ට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බව මෙම නවතම දත්ත පෙන්වා දෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යූටියුබ් ග්‍රාහකයින් සංඛ්‍යාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රාහකයින් සංඛ්‍යාව මෙන් හත් ගුණයකටත් වඩා වැඩිය. දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සතුව පවතින්නේ මෝදි මහතාගේ ග්‍රාහකයින් සංඛ්‍යාවෙන් හතරෙන් එකක ප්‍රමාණයක් පමණි.
ඉන්දියාව තුළ ද මෝදි මහතාගේ ඩිජිටල් ආධිපත්‍යය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. කොංග්‍රස් මන්ත්‍රී රාහුල් ගාන්ධිගේ යූටියුබ් නාලිකාව මෙන් තුන් ගුණයක ග්‍රාහකයින් සංඛ්‍යාවක් මෝදි මහතා සතු වන අතර ඉන්දීය ජාතික කොංග්‍රසය (INC) හෝ ආම් ආද්මි පක්ෂය (AAP) සතු ග්‍රාහකයින් මෙන් සිව් ගුණයක පිරිසක් ඔහු අනුගමනය කරති.
පසුගිය මාසයේදී මෝදි මහතා ඉන්ස්ටග්‍රෑම් (Instagram) ජාලය තුළ අනුගාමිකයන් මිලියන 100 සීමාව පසු කළ ලොව පළමු දේශපාලන නායකයා බවට ද පත්විය. 2014 වසරේ සිට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීව භාවිතා කරන ඔහු මේ වන විට ලෝකයේ වඩාත්ම බලගතු ඩිජිටල් සන්නිවේදකයෙකු ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇත.














