ඉරානය සහ ඇමරිකාව අතර හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ බහරේනය, ඉරාකය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන (Non-emergency) සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැඩි අවදානම සලකා බලා මෙම පියවර ගෙන ඇත.
ඉරානය විසින් ඇමරිකානු හමුදා කඳවුරු සහ තානාපති කාර්යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ. බහරේනයේ පිහිටි හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීමත් සමඟ මෙම ආරක්ෂක පියවරයන් තවදුරටත් දැඩි කර ඇත.
කුවේටයේ ඇමරිකානු තානාපති කාර්යාලය සියලුම මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර, කටාර්හි වෙසෙන ඇමරිකානු වැසියන්ට නිවෙස්වලට වී ආරක්ෂිතව සිටින ලෙස (Shelter-in-place) උපදෙස් දී තිබේ. රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල ද ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් ඇතුළු මැදපෙරදිග රටවල් 14ක සිටින ඇමරිකානු පුරවැසියන්ට හැකි ඉක්මනින් වාණිජ ගුවන් ගමන් මගින් එම රටවලින් ඉවත් වන ලෙස දන්වා ඇත. කලාපයේ බොහෝ රටවල ගුවන් සීමාවන් වසා දමා ඇති බැවින් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී ඇති අතර මෙය කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය මුහුණ දෙන දරුණුතම ගුවන් ගමන් අර්බුදය ලෙස සැලකේ.















