අද (03) දහවල් කොට්ටාව නගර මධ්‍යයේදී සිමෙන්ති තොගයක් පටවාගත් ලොරි රථයක් පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් බරපතළ රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෙම ලොරි රථය කොට්ටාව මංසන්ධියේදී පෙරළී ගොස් ඇති අතර, එහි තිබූ සිමෙන්ති කොට්ට විශාල ප්‍රමාණයක් මාර්ගය පුරා විසිරී යාම නිසා ගමනාගමන කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට ඇත.
අනතුර සිදුවූ ස්ථානයට වහාම පැමිණි කොට්ටාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රථවාහන පාලනය කිරීමට පියවර ගත් අතර, මාර්ගය අවහිර වන සේ වැටී ඇති සිමෙන්ති කොට්ට ඉවත් කිරීම සඳහා යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ලබාගෙන තිබේ. අනතුරින් ලොරි රථයේ රියදුරුට සුළු තුවාල සිදුව ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් හෝමාගම සහ පන්නිපිටිය දෙසට ධාවනය වන වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.














