මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පවතින අනියත බිය නිසා ජනතාව පෝලිම් ගැසී ඉන්ධන ලබාගැනීමට පෙළඹී ඇත. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල නිර්මාණය වූ පෝලිම් අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සාමාන්‍ය දිනක නිකුත් කරන ප්‍රමාණය මෙන් දෙගුණයක ඉන්ධන තොග ඊයේ (මාර්තු 02) බෙදා හැරීමට පියවර ගෙන තිබේ.
ඊයේ දින නිවාඩු දිනයක් වුවද, සංස්ථාව විසින් ඩීසල් ලීටර් 13,200,000කට අධික ප්‍රමාණයක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 11,700,000කට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර ඇත. අද (මාර්තු 03) උදෑසන 6 සිටම කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල සිට බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන අතර, අද උදෑසන පැය කිහිපය තුළ පමණක් තවත් ලීටර් ලක්ෂ 4කට අධික තොගයක් නිකුත් කර තිබේ.
සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා මහතා අවධාරණය කරන්නේ මේ වන විට මෙරට සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි. පෙට්‍රල් දින 37කට සහ ඩීසල් දින 35කට අවශ්‍ය තොග දැනටමත් ගබඩා කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළදී ද අඛණ්ඩව ඉන්ධන නැව් මෙරටට ළඟා වීමට නියමිතය. එබැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත්, දැනට පවතින පෝලිම් අද දිනය ඇතුළත අවසන් වනු ඇති බවත් රජය විශ්වාසය පළ කරයි.
ඉන්ධන හිඟයක් නොමැති බැවින් මීට පෙර ක්‍රියාත්මක වූ QR කේත ක්‍රමය (QR System) නැවත හඳුන්වා දීමේ අවශ්‍යතාවක් නොමැති බවද බලධාරීන් පවසා ඇත. කෙසේ වෙතත්, ඉන්ධන කෑන් සහ බැරල්වලට ලබා දීම තාවකාලිකව තහනම් කර ඇති අතර, කළු කඩේ ඉන්ධන අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.














