මහජන ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (මාර්තු 03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 40 වැනි අධිකාරිය වන මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන තිබේ.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති බරපතල යුදමය තත්ත්වය සහ ඒ හේතුවෙන් මෙරට තුළ ඇති විය හැකි ආරක්ෂක සහ ආර්ථික අභියෝගයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම ඉන්ධන පිරවුම්හල්, වරාය, ගුවන් තොටුපළ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ජනතාව අතර පවතින අනියත බිය නිසා සිදුවිය හැකි කලබලකාරී තත්ත්වයන් පාලනය කිරීම මෙහි අරමුණයි.
මෙම ආඥාව නිකුත් කිරීමත් සමඟ යුද, ගුවන් සහ නාවික හමුදාවන්ට සිවිල් ආරක්ෂක කටයුතු සහ සාමය පවත්වාගෙන යාම සඳහා පොලිසියට සහාය වීමට පූර්ණ බලතල හිමිවේ. මේ යටතේ දිවයිනේ සංවේදී ස්ථාන රැසක දැනටමත් හමුදා ආරක්ෂාව තර කර ඇති අතර, හදිසි අවස්ථාවකදී ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට හමුදාව සූදානමින් පසුවේ.














