ඉරානය සමඟ ආරම්භ වී ඇති යුද්ධය තීරණාත්මක සහ වේගවත් එකක් වනු ඇති බවත්, එය වසර ගණනාවක් පුරා ඇදී යන නිමාවක් නොමැති යුද්ධයක් (Endless war) නොවන බවත් ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කරයි. අමෙරිකානු ‘ෆොක්ස් නිව්ස්’ නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. ගැටුම් ආරම්භයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට සති හතරක හෝ පහක කාලයක් ගතවනු ඇතැයි පුරෝකථනය කළද, මේ වන විට එය ලෙබනනය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් දක්වා ව්‍යාප්ත වෙමින් පවතී.
යුද්ධයේ සිව්වන දිනය වන අද (අඟහරුවාදා) වන විටත් දෙපාර්ශවය අතර දරුණු ප්‍රහාර හුවමාරු වෙමින් පවතී. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළේ තමන් බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර එහි ප්‍රධාන මූලස්ථානය විනාශ කළ බවයි. මේ අතර, සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ද ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, ඉන් සුළු හානි සිදුව ඇති බව වාර්තා වේ. ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ද ඉශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි.
අමෙරිකානු විදේශ ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ ඉරානයට එල්ල කරන ප්‍රහාරවල දරුණුතම අවස්ථාව ඉදිරියේදී සිදුවනු ඇති බවයි. ඉරානයේ බැලස්ටික් මිසයිල නිෂ්පාදන සහ දියත් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම අමෙරිකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ. දැනට ගොඩබිම් ප්‍රහාර (Ground war) සඳහා සූදානමක් නොමැති වුවද, ජනාධිපති ට්‍රම්ප් එම විකල්පය ද ඉවත දමා නොමැති බව රූබියෝ වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට ඉරානය, ඉශ්‍රායලය සහ ලෙබනනයේ සිවිල් වැසියන් සිය ගණනක් මියගොස් ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය අඩාල වීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඩුබායි ඇතුළු ගල්ෆ් කලාපයේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් සිව්වන දිනටත් වසා තබා තිබේ. රුසියාව, චීනය සහ තුර්කිය මෙම යුද්ධය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, අමෙරිකානු ජනතාවගෙන් බහුතරයක් ද මෙම හදිසි ප්‍රහාරයට සිය විරෝධය පළ කර ඇති බව නවතම මත විමසුම් පෙන්වා දෙයි.
















