ඛනිජ සම්පත්වලින් පොහොසත් නැගෙනහිර කොංගෝ රාජ්‍යයේ බලය අල්ලාගෙන සිටින M23 කැරලිකරුවන්ට සෘජු මෙහෙයුම් සහාය ලබා දීම හේතුවෙන් රුවන්ඩා හමුදා මාණ්ඩලික ප්‍රධානී වින්සන්ට් නියකරණ්ඩි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සඳුදා (02) සම්බාධක පනවන ලදී. අමෙරිකාව පෙන්වා දෙන්නේ රුවන්ඩාවේ සහාය නොමැතිව මෙම කැරලිකරුවන්ට උතුරු සහ දකුණු කිවූ (Kivu) පළාත්වල මෙතරම් ප්‍රදේශ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට නොහැකි වන බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුවන්ඩාව සහ කොංගෝව අතර සාම ගිවිසුමක් අත්සන් කළද, ඉන් දින කිහිපයකට පසු M23 කැරලිකරුවන් උවිරා (Uvira) නගරය අල්ලා ගැනීම හරහා එම ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙම සම්බාධක පැනවීම කොංගෝ රජය විසින් සාදරයෙන් පිළිගෙන ඇති අතර, රුවන්ඩාව ප්‍රකාශ කර ඇත්තේ මෙය තමන් ඉලක්ක කර ගනිමින් අසාධාරණ ලෙස ගනු ලැබූ පියවරක් බවයි. සමූහ ඝාතන සහ කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් M23 කැරලිකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ.














